ජංගම දුරකථනය නිසා පෙම් සබඳතාව අනතුරේද?

ඇමරිකාවේ බේලර් විශ්වවිද්‍යාලය මගින් කරන ලද නවතම සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ තමන් සමඟ කාලය ගත කරන විට තම ආදරවන්තයා හෝ ආදරවන්තිය, ඔවුන්ගේ ජංගම දුරකථන භාවිත කරනවා දැකීමට බොහෝ දෙනෙකු අකමැති බවයි.
මෙම සමීක්ෂණය සඳහා වැඩිහිටි ඇමරිකානුවන් 450කට අධික පිරිසක් සහභාගී කරවාගෙන තිබුණා.
ඔවුන්ගෙන් 46%ක් පවසන්නේ තම ප්‍රේමවන්තයා/වන්තිය තමන් සමඟ කාලය ගත කරන විට නිරතුරුවම ජංගම දුරකථනය භාවිත කරන බවයි. එම පුරුද්ද තමන් දෙදෙනා අතර නිරන්තර ගැටුම් වලට මග පාදන බව ඉන් 26% පවසා තිබුණා. 37% පවසා සිටියේ සිය ප්‍රේමවන්තයා/වන්තියගේ මෙම හැසිරීම නිසා තමන් ඇතැම් විට දැඩි මානසික පීඩනයට පත්වනවා යන්නයි. සිය සහකරු/කාරියගේ ජංගම දුරකථන භාවිතය නිසා තමන් දෙදෙනා අතර ඇති සම්බන්ධතාවයට කිසිදු බලපෑමක් සිදු නොවන බව පවසා සිටියේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 32%ක් පමණයි.
ඊට අමතරව එකිනෙකා සමඟ ගත කරන කාලය තුල ප්‍රේමවන්තයා/වන්තිය අනවශ්‍ය ආකාරයට ජංගම දුරකථනය පරිශීලනය කිරීම නිසා මානසික ආතතිය, සැකය වැනි හානිකර හැඟීම් ඔවුන් තුල ඇති වන බවත් සමීක්ෂණයට සහභාගී වූවන් පවසා සිටිනවා. එවිට ඇතිවන රණ්ඩු සරුවල් හා ගැටුම් නිසා ඇතැම් විට ප්‍රේම සම්බන්ධතා බිඳී යාම පවා සිදු විය හැකිබවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
බේලර් විශ්වවිද්‍යාලය විසින් පවත්වන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල හා සොයාගැනීම් ලබන වසරේ ජනවාරි මස ප්‍රකාශයට පත්වන ‘Computes in Human Behavior’ විද්‍යා සඟරාවේ සවිස්තරාත්මකව පල වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Comments
Post a Comment