බදින්න කලින් මේ ගැන මොහෙතක් සිතන්න

අප අතරම වෙසෙන සමහර මිනිසුන් සොබාදමට විරුද්ධව වැඩ කිරීම නිසා මිනිස් සමාජය ද විනාශය කරා ගමන් කරයි. ගැහැනිය හා මිනිසා නිර්මාණය වී ඇත්තේ එකිනෙකාට ගැළපෙන ලෙසිනි. ඔවුන් අතර ලිංගික සබඳතා ඇති වන්නේ මානව පැවැත්ම උදෙසාය. එහෙත් දැන් මානව පැවැත්මටත් සොබා දහමටත් විරුද්ධව යන සමලිංගික සබඳතා නිසා සමාජමය ගැටලු පැන නැගී ඇත.

වෛද්‍ය සිසිර ලියනගේ හමුවූයේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අටියෙනි.

සමලිංගික සබඳතා පවත්වන්නවුන් අතර වැඩි ප්‍රමාණයක් සිටින්නේ ගැහැනු ද පිරිමිද?

පිරිමි හා ගැහැනු යන දෙකොටසේ ම සමලිංගික සබඳතා පවත්වන්නන් සිටිනවා. මේ අතරින් අපට වාර්තා වන විදියට නම් අපේ සමාජයේ පිරිමි සමලිංගිකයන් සංඛ්‍යාව වැඩියි. ගැහැනු සමලිංගිකයන් සංඛ්‍යාවෙන් අඩුයි. පිරිමි සමලිංගිකයන් සඳහා වෙනම ම සංගම්, සංවිධාන පවා පවත්වාගෙන යනවා. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලින් පවා ඔවුන්ට ආධාර කරනවාලු. මෙම සංගම් විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියට පත් කරනවා. අප සිදු කළ සමීක්ෂණ වාර්තාවකට අනුව නම් 10,000ක් වගේ ප්‍රමාණයක පිරිමි සමලිංගිකයන් ප්‍රමාණයක් අපේ රටේ සිටිනවා. මේ සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වෙමින් පවතිනවා.

තරුණියකට සමලිංගික තරුණයකු හා නොදැනුවත්කමින් විවාහ වීමට සිදු වුවහොත් එම තරුණිය මහත් අපහසුතාවකට පත් වෙනවා. මේ නිසා විවාහයට කලින් තමා විවාහ වීමට යන පුද්ගලයා සමලිංගිකයකුදැයි දැන ගැනීමේ ක්‍රමයක් තියෙනවද?

මෙයට ඍජු පිළිතුරක් දීමට අපහසුයි. පිරිමි සමලිංගිකයන් කොටස් දෙකක් ඉන්නවා. සංක්‍රාන්තික ලිංගිකයන් මින් එක් කොටසක්. ඔවුන් තමා ගැහැනියක් යැයි සිතනවා. ගැහැනු ලෙසින් සැරසීමට කැමැත්තක් දක්වනවා වගේම ඔවුන් ගැහැනු ලෙසින් හැසිරෙනවා. මෙවැන්නන් සමාජයේ දී හඳුනා ගැනීමට පහසුයි. බාහිරව ඔවුන් සමලිංගික පුද්ගලයන් බව කියන්න පුළුවන්.

ඒත් අනෙක් සමලිංගිකයන් එලෙසින් පහසුවෙන් හඳුනා ගැනීමට බැහැ. ඔවුන් පෙනුමෙන්, හැසිරීමෙන් සාමාන්‍ය පිරිමින්ට සමානයි. තමන් සමලිංගිකයෙක් බව සැඟවීමට උත්සාහ කරනවා. ඔවුනට පිරිමි හැගීම්, පිරිමි හෝමෝන තිබුණත් ලිංගික සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන්නේ පිරිමින් සමගයි. එවැනි පිරිමි කාන්තාවන්ට කැමැති නෑ.

ඇතැම් අය පාසල් කාලයේ සමලිංගික සබඳතාවලට ඇබ්බැහි වුවත් වැඩිහිටි වූ පසුව කාන්තාවක් සමග විවාහ වී හොඳ පවුල් ජීවිත ගත කරනවා. තවත් කොටසක් විවාහ වී සිටිය දී පවා සමලිංගික සබඳතා පවත්වනවා. මෙවැනි අය පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටත් කැමැතියි.

විරුද්ධ ලිංගික සබඳතාවකට වඩා සමලිංගික සබඳතාවකින් ලිංගාශ්‍රිත රෝග බෝ වීමේ වැඩි ඉඩක් තියෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්. විරුද්ධ ලිංගික සබඳතා සඳහා ස්වභාවයෙන් ම ගැහැනු, පිරිමි දෙකොටසගේම ශරීර නිර්මාණය වෙලා තියෙනවා. ඒත් සමලිංගික සබඳතා සඳහා ස්වභාවයෙන් සිරුර නිර්මාණය වෙලා නැහැ. කොණ්ඩම් වැනි ආරක්ෂක උපක්‍රම භාවිතයකුත් නැති නිසා සමලිංගික සබඳතා නිසා ලිංගාශ්‍රිත රෝග බෝවීම වැඩියි.

හෝමෝනවල වෙනස්කම් නිසා සමලිංගිකයන් ඇති වෙනවා යැයි කිවුවත් දැන් මෙය වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙන බවක්, එයට ඇබ්බැහි වීමක් වෙනවා නේද?

ඔව්, මේ සඳහා මානසික, කායික, සමාජයීය කරුණු සියල්ල ම බලපානවා. ස්නායුවල වෙනස්කම් ඇති වීම නිසාත් මානසික කැමැත්ත නිසාත් මෙවැනි සබඳතා ඇතිකර ගන්නවා. පිරිමි හොස්ටල්, හිරගෙවල් ආදියෙහි සිටින අයත් සමලිංගික සබඳතා සඳහා පෙලඹෙනවා. මොවුන්ගේ වැඩි කැමැත්ත කාන්තාවන්ට වුවත් කාන්තාවන් නොමැතිකම නිසා තම හැගීම් සන්තර්පණය කර ගැනීමට සමලිංගිකයන් වෙත යාමට පෙලඹෙනවා.

ඒවගේ පාසල් ළමයින් වෙනත් වැඩිමල් පුද්ගලයන් විසින් තමාගේ සතුට සඳහා යොදා ගැනීම නිසා එවැනි ළමයින් සමලිංගිකයන් බවට පත්විය හැකියි.

තමාගේ දරුවා සමලිංගිකයෙක් නොවීමට යම් දායකත්වයක් මවුපියන්ටත් සැපයිය හැකියැයි හිතෙනවා..

දරුවකු වැඩිහිටි තත්ත්වයට, ඒ කියන්නේ පාසලෙන් ඉවත්වන වයස දක්වාවත් මවුපියන් තම දරුවන් ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. නිතරම තමා නව යොවුන් වියේ දී කළ කී දෑ ගැනත් තමා මුහුණ දුන් අවස්ථා හා අත්දැකීම් ගැනත් සිතා බලා දරුවා රැක ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒවගේ ම දරුවා හමුවෙන පුද්ගලයන් සහ ඔහු හෝ ඇය කරන කියන කටයුතු පිළිබඳ දැඩි අවධානයකින් පසුවිය යුතුයි. මේ සඳහා දරුවා සමීපව මිත්‍රයකු සේ ආශ්‍රය කිරීමෙන් ඔබට දරුවා රැකගැනීමේ හැකියාව තිඛෙනවා. ඒ වගේම වක්‍රාකාරයෙන් හෝ මෙවැනි දේ ගැන දරුවන් දැනුවත් කළ යුතුයි. දරුවා යම් ලෙසකින් හෝ යමෙකුගේ ග්‍රහණයට හසු වී ඇත්නම් අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කොට එයින් දරුවා මුදා ගැනීමට ක්‍රියා කිරීම වැදගත්.

උපදෙස් - ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න